මා කුඩා අවදියෙහි අප නිවසෙහි රූපවාහිනියක් නොතිබිණි. මගේ දෙමව්පියන්ට එවැන්නක් මිලදී ගැනීමට ආර්ථික ශක්තියක් නොතිබූ නිසා නොව අප සියල්ලන් සියලු වැඩ පසෙකලා එයටම ඇලී ගැලී සිටිනු ඇතැයි මගේ මවගේ විස්වාශය විය.මගේ මෑණියන් ගුරුවරියක් වූවාය. ඉගැන්වීම ඇයගෙ රැකියාවකට වඩා වගකීමක් ලෙස සැලකූ අතර අප කුඩා කල අපට හමු වූ ගුරුවරුන්ගෙන් 99%ක්ම වාගේ එයම අනුගමනය කළ අය වීම අප ලද භාග්‍යයක්ම විය යුතුය.උපකාරක පංති කලාව කොළඹින් ඉතා දුර බැහර වූ මා උපන් ගම් පියසෙහි ඉතා ළදරු අවධියක පැවතිණ.
අපට ඇති තරම් විනෝද වීමට කාලය තිබිණ. රූපවාහිනියක් නොතිබීම මහා ලොකු අඩුවක් ලෙස නොදැනුනේ මා හට සම වයසේ ඥාති සහෝදරයින්ගෙන්ද මගේ පවුලේම සහෝදර සහෝදරියන් තිදෙනෙකුගෙන්ද අඩුවක් නොතිබූ නිසාය. එහෙත් අහල පහල ගෙවල්වලට පැන රූප පෙට්ටියට නෙත් ඇලවීමටද අපි බසුබට නොවීමු. මේ ගැන නම් මගෙ මවගේ කැමැත්තක් නොවුනු හෙයින් අවසන් ප්‍රතිඵලය වූයේ රූපවාහිනියක් අප නිවසටද පැමිණීමය. රූප පෙට්ටිය අප නිවසට පැමිණියද එයට අප නිවස ආක්‍රමනය කිරීමට නොහැකිවූයේ ගෘහ මූලිකත්වය රූපවාහිනී සභාපතිතුමාට දීමට තරම් මගේ මව්පියන් මෝඩ නොවුනු හෙයිනි.
එකල චන්ද්‍රිකා රූපවාහිනී සේවා හෝ කේබල් ටී වී සේවාවන් නොතිබූ අතර ජාතික රූපවාහිනිය හා ස්වාධීන රූපවාහිනිය හැරුනුවිට අනික් සේවාවන් කොළඹට පමණක් සීමාවිය.පෙර කී සේවාවන්ගෙන්ද අද තරම් කුණුකන්දල් ගලා ඒමක් නොවීය. මට මතක මා නැරඹූ පලමු ටෙලිනාට්‍ය "ලා හිරු දහසක්" විය. "යශෝ රාවය,පලිඟු මැණිකේ,දඬුබස්නාමානය,අකාල සන්ධ්‍යා,මානව වාරන,උතුරුකුරු සටන,කීටයා,කෝපි කඩේ,දූ දරුවෝ,නෑදෑයෝ,සූරියදරුවෝ,කඩවර..... වැනි ටෙලිනාට්‍ය අප නොවරදවා නැරඹුවද රූපවාහිනී සේවා දෙකක් හෝ එකක් පමණක් පැවතීම නිසා පවුලේ සමගියට මහා ලොකු බාධකයක් නොතිබිණ. මෙම ටෙලි නාට්‍ය අප සියල්ලන්ටම එකතු වී නැරඹීමට හැකි තත්වයක තිබූ අතර හවස් වරුවට "පිස්සු පූසා,දොස්තර හොඳ හිත,Zoro,මායා බන්ධන 1,2,රොබින් හුඩ්,....." වැනි අදටත් මතක වැඩසටහන් විකාශනය විය. රූපවාහිනියට වැයකල මුලු පැය ප්‍රමාණය පැය දෙකක් හෝ ඊට මදක් වැඩි වන්නට ඇති නමුත් එය ඉතා සාමාන්‍ය මට්ටමේ වූවක් විය.
මා 10වන වසරේ හෝ 9වසරේ පමණ සිටින අවධියෙහි හිටි ගමන් සිරස නාලිකාව පෙනෙන්නට පටන්ගත්තේය.. එක කොටසක් බලා ඊලග කොටස බලන්නට සතියක් බලා සිටි අපට සතියේ දින පහක් බලන්නට අමුතු තාලයේ කතා පෙළක් ලැබිණ.. "ශාන්ති,ප්‍රගති,දාමිණී" වැනි ඉන්දියානුවන් සහ අඩක් ලාංකික ඉන්දියානුවන් පැමිණ ටිකින් ටික රූපවාහිනිය බදු ගන්නට පටන් ගත් නමුත් එහිද "Texas rangers,සූර පප්පා,කවුද බෝයි,හර්ක්‍යුලීස්," වැනි සිත්ගත් වැඩසටහන් විය. "9.05න් පටන් ගෙන කදමල්ල,තිත්ත ඇත්ත,පාර දිගේ,433333,Dark Room,චැලෙන්ජර්ස්..." වැනි සඟරාමය වැඩසටහන් වලට අමතරව "අන්තර්ජාලය ඔබේ නිවසට" වැනි නවමු ආකාරයේ වැඩසටහන්ද අපෛ ආසාවෙන් නැරඹූවෙමු.
මෙයාකාරයට සෙමෙන් ගලාගිය කතාවේ හැරුම් ලක්ෂ්‍යය කොතැනද යන්න අදටත් මට නොතේරේ..එක්කෝ ඒ තරමටම අප රූපවාහිනිය තුල වල්මත්වී ඇත.එසේත් නැතහොත් රූපවාහිනිය නිරුවත් වීම සෙමෙන් සෙමෙන් අපට නොතේරෙන ආකාරයට සිදුවී ඇත. අද සියලු රූපවාහිනී නිරුවත් වී ඇති සෙයක් මට හැඟේ. රූපවාහිනියේ පෙනී සිටින්නන්ද නිරුවත් වී ඇත ඔවුන් දර්ශන තලයේ අඩ නිරුවතද ඉන් පිටත සම්පූර්ණ නිරුවතද විකුණත්. ටෙලි නාට්‍ය නිලියන් කිහිප දෙනෙක් ගණිකා වෘතියේ යෙදී අසුවී තවත් බොහෝ දෙනාට චෝදනා එල්ල වී ඇත.. පෙනී සිටින්නන් පමණක් නොව වැඩ සටහන් අන්තර් ගතයන්ද නිරුවත්ය..වෙනත් ලෙසකින් කියනවානම් රත්තරන් යැයි සරුව පිත්තල පෙන්නන කාලයක් පැමිණ ඇත. කට ඇරගෙන මව,පියා දූ දරුවන්, සිඟිත්තාගේ සිට මහල්ලා දක්වා සියල්ලෝ ඉන්දියානු අච්චුවේ රඟපාන ගණිකාවන් දෙස බලා සිටිත්.. ඉඳ හිට අස්වල් දර්ශන,අසවල් වචන(තමුසේ...) ඉවත් කරන්න නියෝග කර දේශපානඥයින් ලකුණු දාගනිති. එහෙත් ඊටත් වඩා අසැබි වදන් ඔවුන්ම රියැලිටි වැඩසටහන්වල විනිශ්චයට පැමිණ දොඩත්..වරක් එක් දේශපාලකයෙක් මෙවැනි වැඩසටහනකට පැමිණ තරඟ කාරියකට පැවසුවේ "මට ඔයාගෙ කුක්කු බොන්න හිතෙනවා.." යන්නයි. කුක්කු බීම ගැනනම් අපට ගැටලුවක් නැත.. අප මේ පා නගන ප්‍රපාතයේ ගැඹුර ගැන නම් මහා ගැටලුවක් ඇත.
ලංකාව ඉන්දියාවට ඉතා ආසන්න වීම නිසා රාම රාවණා කාලයේ සිටම ඉන්දියානු ආක්‍රමණවලට ලක් වීමට අපට සිදු විය.. එදා පටන් අද දක්වා සිදුවූ ආක්‍රමන වලින් එක් ආක්‍රමණයක් පමණක් ඉතා සොඳුරු විය. එය මෙයට අවුරුදු 2500කට පමණ පෙර මහා බුද්ධ පුත්‍රයාණන් වහන්සේ කෙනෙකුගෙන් සිදු වූ අතර එයම අප ලැබූ මහා භාග්‍යයම විය..එයින් අප ලැබූ මහාර්ඝ සම්පත් ටිකින් ටික අද ඉන්දියානුවන්ම උදුරාගැනීම එක්තරා ආකාරයක සරදමක්ම වැනිය.. එදා අප බුදු දහමින් ලද පෝශණය කුමන ආක්‍රමනය හමුවේවත් වල ලෑමට අපි දීන නොවීමු..එහෙත් ඒ සියල්ල රූප පෙට්ටියෙන් එන සොරුන්ට සොරාගැනීමට ඉඩ දී අපි නිවටයින් ලෙස බලා සිටින්නෙමු.
නිමල් ලක්ෂපතිආරච්චි පැමිණ Night Time TV නමින් වැඩිහිටියන්ට පමණක් සීමාවූ වැඩ සටහනක් ඇරඹූ අතර එය ඉතා අශාවෙන් ළමා පරපුරම බැලුවද කිසිදු වැඩිහිටියෙක් නැරඹීම තබා එවැන්නක් විකාශනය වූවාද යන්න අදටත් නොදනී. ඔහු එතැනින් නොනැවතී ජාතික රූපවාහිනියට පැමිණ ප්‍රවෘති කියන නිවේදිකාව අඩ නිරුවත් කර නෙස්ටමෝල්ට් පෙව්වේය.. කොතරම් නිර්මාණශීලී වුවත් කුණුගොඩවල් විකිනීමට පටන් ගැනීම මගේ අදහසට අනුවනම් පටන්ගත්තේ සිරස නාලිකාව මගිනි.. මේ කුණු වලට හොඳ ඉල්ලුමක් ආ අතර අනෙක් නාලිකාවන්ද කුණු ආනයනකර හෝ විකිනීමට පටන් ගත් අතර ආලින්දය පුරා දිවා රෑ නැතිවම කුණු දෝර ගලන්නට විය.. පෙර කී පරිදි සිඟිත්තාගේ සිට මහල්ලා දක්වා තරගයට මේ කුණු කති.. මේ කෑ කුණුවල ආනිසංස සුලු රෝග ලක්ෂණ ලෙස දැනට ටිකින් ටික පෙනෙන්නට තිබෙන අතර පිළිකාව තවමත් සුරැකිව තිබේ.
අද රටේ භාගයක් ගායකයෝ හා නර්තන ශිල්පියෝ වෙති. දවසකට දෙකකට සුපිරි තරු වන මොවුන්ගේ ගීත සතියක් දෙකක් අසන අප නැවතත් 70,80,90 දශකයේ ගායකයින්ට මාරු වෙන්නේ නිරායාසයෙනි. අද නර්තනයේ විශිෂ්ඨතම අංගය වී ඇත්තේ ලිංගිකත්වයයි.. එය එදා ශෘංගාර රසය යනුවෙන් යම් යම් සීමවන්ට යටත්ව පෙන්වුවද අද කිසිදු හිරිකිතක් නැතිව හුදු ලිංගිකත්වයම විකිනේ.. අද ලාංකිකයෝ තමන්ගේම ආලින්දයේ අතරමංවී යන එන මං නැතුව සිටිති. මග සොයා යා හැකි මව සහ පියා (බොහෝ විට මව) තම දරුවන් පෙරටු කරගෙන බැදි වලම රිංගති.. තරු පහේ කෑම හදන වැඩසටහන් දවස් පහක් නරඹන ගැහැනු එක දවසක් තම පවුලට රහට කෑම නොදෙත්. මව් වරු දූවරු තරගයට යෝගට්,අලිපේර මූණේ උලති. බිත්තර සාරු කෙස් ගල්වති... ඉස්සර අනුභව කළ දෑ මූනේ ගාගෙන අන්ධයන් මෙන් තණ කොල කති. තම දියණිය සුපිරි තරුවක් කරන්නට විනාඩියකට දෙකකට රූපවාහිනියේ මූණ දාගන්නට කියන ඕනෑම දෙයක් කරති.. අප සිතන්නේ යුරෝපීය ආරටය,අඳින්නේ යුරෝපීය ආරටය,වැඩ කරන්නේ යුරෝපීය ආරටය එහෙත් තවමත් හිත ලාංකිකය.. ගැටෙන්නේ මේ දෙකය.. ලොකයක් ලස්සන කරන්නටනම් පෙරමුණ ගතයුත්තේ මවයි.. අවුරුද්දක් හෝ ඊට වඩා මවුකිරි දරුවන්ට දීමෙන් පමණක් එය කළ නොහේ.. මව දුරස්තපාලකය රැඟෙන පැය භාගෙන් භාගෙට කුණු කන විට පරම්පරාවක් ඉදිරියෙන් සිටින දරුවෝ පරම්පරාවක් ඉදිරියෙන් එන කුණු කති, ඒ අන්තර්ජාලය,ජංගම දුරකථනය ආදී අනේක මාර්ග වලිනි..
පෙනෙන ආකාරයටනම් අපට මග වැරදී ඇත.. ඉදින් මග සොයාගත යුත්තේද අපමය.. "ටී වී එපා, රූපවාහිනිය සලු ඇඳගනු" වැනි ජනප්‍රිය වැකි සහිත බෝඩ් ලෑලි එල්ලාගෙන පිකටින් කර මග සොයාගත නොහේ.. මහින්ද මාමාට පොඩි එකා ලවා ලියුමක් ලියා හෝ කෝල් එකක් දී හෝ නැවැත් විය නොහැක.. මන්ද මේ සියල්ල පිටුපස මුදල නැමැති සර්වබලධාරී දෙවියා සිටින හෙයිනි.. වල්මත් වී යන උන්ට යන්නට හැර හරි මග යන්නට මව් වරු පෙරමුණ ගත යුතුය.. එයට රූපවාහිනී යන්ත්‍රය පොළොවේ ගැසිය යුතුය වැනි මෝඩ රැඩිකල් යෝජනාවකින් වැඩක් නැත.. මේ පිලිබඳව පුලුල් කතිකාවතක් ඇති විය යුතුය.. රූපවාහිනියට පවුලේ වාරණයක් අවශ්‍ය වී තිබේ.. රැඟුම් පාලක මණ්ඩලයේ සභාපතිත්වය මවට හා පියාට හිමි විය යුතුය.. එයට ඇමතිගෙන් ලියුමක් නම් අවශ්‍ය නොවේ.. අමුතුවෙන් මුදලක්ද වියදම් නොවේ..
ඔබගේ ලිපියෙන් කියලා තියෙන්නේ ඇත්ත ඒක අවිවාදාත්මකයි , නමුත් මෙහෙම දේකුත් කියන්න ඕනෙ රූපවාහිනියෙන් වැඩසටහන් විකාශය කිරීම ඔවුන්සතු රාජකාරියකි. ඔවුන්ගේ මුදලට සරිලන ලෙස වෙළඳ දැන්වීම් අඩ නිරුවත් දර්ශන යොදයි. නමුත් හොඳ සුළුතරයක්ද නැත්තේ නොවේ. සමාජයට හරවත් යමක් ගෙන එමින් විඳනාත්මක යමක් ඉදිරිපත් කරන වැඩසටහන්ද නැත්තේ නොවේ. අප නරඹන දේ ඔවුන්ට තීරණය කිරීමට ඉඩ නොදී අප නරඹන දෙ තීරණය කිරීම අප සතු වගකීමකි. දුරස්ථපාලකය ඇත්තේ ප්‍රේක්ෂකයාගේ අතේය. නාලිකාව මාරු කර තමාට ගැලපෙන දේ තෝරා ගැනීම අප සතුය. සමහර දෙමව්පියන් මේ දර්ශන දරුවන් ඉදිරියේ නැරඹීමට පෙළඹී තිබේ. මෙහිදී දෙමව්පියන් තමන්ගේ දරුවන්ට පෙන්වන්නේ කුමක්ද ඔවුන් බලන්නේ කුමක්ද යන්න සොයා බැලිය යුතුය. අවසානයේ දරුවන් ඒවා බලා සමජයට අවැඩදායී පුද්ගලයන් වූ පසු රූප්වාහිනියටද දරුවන්ටද බැන පලක් නැත. තමන් නරඹන දෙය තමන් දැන ගත යුතුය. අප කුඩාකාලය හා සැසඳීමේදී මෙහි තරමක වෙනසක් ඇත. අප මව්පියන්ගේ කාලය හා සැසඳීමේදී ඔවුන් කුඩාකල රේඩියෝව හැර රූපවාහිනියක් දැක තිබුනේද නැත. කාලානුරූපව මිනිසුන්ගේ අවශ්‍යතා වෙනස් වෙයි. නමුත් වෙනස් වන ලෝකයේදී අපට අවැසි හරිදේ හරි ආකාරයෙන් තෝරා ගැනීම අප සතුය. එයට අවශ්‍යවන ආකල්පමය වර්ධනය මිස වාරණයන්ගෙන් ඒවා "නො"කළ හැකියයි මම විශ්වාස කරමි.සමහර විට ඔබගේත් මගේත් දරුවන් ඉන්නා කාලයක ඔවුන් බහ තෝරන අවධියක රූපවාහිනියට වඩා ප්‍රබල වෙනත් මාධ්‍යයන් පැමිණිය හැක. නමුත් අප කළ යුත්තේ අප කවුද කියා වටහාගෙන අපට හොඳ දේ තෝරාගෙන ඒදේ රස විඳීමය. බොහෝ දරුවන් රූපවාහිනිය නිසා වල්මත් වන වා යන කතාවට බොහෝ දුරට දෙමව්පියන් වගකිව යුත්තේ එහෙයිනි. දරුවන් හදා ගැනීමට පෙර දෙමව්පියන් තමන්ගේ දරුවාට පෙන්නන්නේ කුමක්ද අප දරුවා ඉදිරියේ නැරඹිය යුත්තේ කුමක්ද යන්න වැඩිහිටියන් තෝරාගෙන කටයුතු කරනවා නම් මෙවන් දෙයක් රූපවාහිනියට කළ නොහැක.කළ යුත්තේ අපගේ ආකල්පමය දියුණුවක් ඇති කර ගැනීම හා එය නැත්තන්ට එය ඇතිකර ගැනීමට උදවු කරනු විනා වාරණ ගෙන ඒම නොවේ.එම වැඩසටහන් වාරණයට වඩා ඒ දේවල් අවැසි අය බැලීමටත් අවැසි අය නොබැලීමටත් වගබලා ගන්නවා නම් මැනවි. දැනුම් තේරුම් වයසට පත්වූ තරුණියක හෝ තරුණයෙකු මේ දේවල් නැරඹුවායින් වන හානියක් නොමැත එහි හොඳ හෝ නරක වටහා ගෙන රස විඳීමට ඒ වයසේ පුද්ගලයින්ට හැකියාව ඇත. අද රූපවාහිනිය අවශ්‍යව ඇත්තේ පෙර කාලයට වඩා මිනිසුන්ගේ අවශ්‍යතා සහ පහසුකම් වැඩි වී ඇති නිසාය. රාත්‍රී රාජකාරී කරන්නෙකුට වැනි අයෙකුට නරඹීමට වැඩසටහන් තිබිය යුතුය. නමුත් ලංකාවේ කරනුයේ යමකින් යමක් වනවා නම් එය මුලිනුපුටා දැමීමය.එය මූණ සමඟ තරහවී නහය කපාගෙන හුස්ම ගැනීමටද නැතිව මිය යනවා හා සමානය.ලංකාවේ දේශපාලුවන් ඔවන් කතිකාවකදී කරනු ඇත්තේ නාට්‍ය සියල්ල තහනම් කිරීමය. එයින් පරිබාහිර යමක් ඔවුන් කෙදිනකවත් නොකරනු ඇත, එසේ කිරීමට නුවණක් ඇත්නම් හිමි නමක් ආරම්භ කර ඇති බෞද්ධයා නාලිකාව මෙන් ළමා අධ්‍යාපනයට විවිද වයසේ සිසුන් ඉලක්ක කරගෙන අඩුම තරමේ පැය විසි හතරෙන් පැය හතරක්වත් විකාශය කරන අධ්‍යාපනික වාර්තාමය ආදී තොරතුරු රැගත් වෙනම නාලිකාවක් හෝ දෙකක් ආරම්භ කිරීමට පහසුකම තිබියදීත් ඔවුන් එය නොකරන්නේ මන්ද.?
ReplyDelete@ චතුර
ReplyDeleteමෙම ලිපිය ඔස්සේ මා යෝජනා කරන්නේද අප විසින්ම "ස්වයං වාරණයක්" පනවා ගත යුතුයි යන්නයි.. ලිපියේ අවසාන කොටසේ "රූපවාහිනියට පවුලේ වාරණයක් අවශ්‍ය වී තිබේ.. රැඟුම් පාලක මණ්ඩලයේ සභාපතිත්වය මවට හා පියාට හිමි විය යුතුය.. එයට ඇමතිගෙන් ලියුමක් නම් අවශ්‍ය නොවේ.. අමුතුවෙන් මුදලක්ද වියදම් නොවේ.. " යන්නෙන් මා අදහස් කර ඇත්තේද එයයි..වාරණ මගින් කිසිවක් නැවැත්විය නොහැක.. උදාහරණයකට සියලු මත්ද්‍රව්‍ය තහනම් කළේ යැයි සිතමු.. හොද්ද බොර වෙන්නේ හොර අරක්කු,හොර කසිප්පු කාරයන්ගේය.. තහනමකින් වාරණයකින් කළ නොහැකි දෙයක් ආකල්පමය වෙනසකින් කළ හැකිය.. එය ඇති කළ යුත්තේ කුඩා කළ සිටමයි.. අද බොහෝ මවු පියනට මේ ගැන නම් වගේ වගක් නැති වග මා අත් දැක ඇති කාරණයකි.. මෙතෙක් මා ලද දීර්ඝතම ප්‍රතිචාරය ඔබෙන් ලැබීම ගැන ඔබටත් බොහෝම ස්තූතියි..
හිතෙහි කැකෑරෙන අදහස් නිවැරදිව සහ පැහැදිළිව ඉදිරිපත් කිරීම ඉතාම අගනේයි සුදර්ශන, මේ වගේ බ්ලොගයකට කොමෙන්ටුවක් දාන්න ලැබීම ද මා ලද භාග්‍යයක් යැයි සිතමි. මේ වගේ අදහස් සැමදාම සිතෙහි සිරකර සිටිය නොහැකි බවත් ඔබ ඔප්පුකර හමාරයි. අපේ රටේ සභ්‍යත්වය සම්පූර්ණයෙන්ම විනාශ කළේ මාධ්‍යජාලා බව හැමෝම දන්නා ඒත් කාටත් නොවැටහෙන රහසකි. මගේ පියාත් ගුරුවරයෙක් විය. දැන් ඔහු විශ්‍රාම සුවයෙන් නොව අසනීපයෙන් පසුවෙති ඊට හේතුවද ඔබ කිව්වා වගේම ඉගැන්වීම රැකියාව නොව වගකීම ලෙස සැලකූ නිසාවෙනි. විශ්‍රාම ගන්නාතුරුම දවල්ට කෑම ප්‍රමාදය හේතුකොටගෙන මෑතකදී ශල්‍යකර්මයකින් පිත්තාශය ඉවත් කිරීමට සිදුවිය.කුඩා කාලයේ අපේ ගෙදරත් රූප පෙට්ටියක් තිබුනේ නෑ. හේතුව ඉතින් ආර්තිකය තමයි. ළග ගෙදරකට ගිහින් ඔෂීන්, රොබින් හුඩ් බැලුවා තාමත් මතකයි. රොබින්, නසියර් වගේ අය තමයි අපේ වීරයෝ.. සමහර දවස්වලට අපේ ගෙදරත් ෂර්වුඩයක් වෙනවා.. මම තමයි හැමදාම මාර්ච් වෙන්නේ ඔන්න ඔහොමයි අපේ අතීතය.
ReplyDeleteශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යවල මෙන්ම විශේෂයෙන්ම රේඩියෝ චැනල්වල සිටින්නේ අරුත් සුන් වදන් පවසන ගිරව් බව අමුතුවෙන් කිවයුතු නැත. අපේ රටේ මෝඩ මිනිස්සු මේවා රසකරමින් අහන බලන එකයි මට තියෙන වේදනාව, පෙන්වන නාට්‍ය ජීවිතය කරගෙනයි සමහර මිනිස්සු ජීවත් වෙන්නේ... එක දවසක් මගහැරුනොත් කෑවේ නෑ වගේ... මේවායේ පෙන්වන අඩ නිරුවත් ෆැෂන්, මූනේ උලන එක එක ජාතියේ ලාටු තමයි අපේ රටේ බහුතරයක් ළමයි ආදර්ශයට ගන්නේ. ඇදුමක් උනත් මුලින්ම ලෝකයට බිහිවෙලා තියෙන්නේ මිනිසුන්ගේ චර්යා රටාවන් හැසිරීම හේතුකරගෙන, ඒත් දැන් වෙලා තියෙන්නේ ඔක්කොම කනපිට... දෙමාපියන්ගේ සිත්වලද පැල් පදියම් වී ඇක්කේද මාධ්‍ය හරහා ඹවුන් දකින දේවල්මය. හොදම උදාහරණය තමයි හයේ හතරේ ගෑනු ඇදන් ඉන්න දේවල් දැක්කම මටනම් පේනේනේ යමරජුගේ බිරින්දෑය වගෙයි. මේවායේ පෙන්වන බහුතර වැඩසටහන් ළමයින්ට තියා දෙමාපියන්ටවත් බැලීමට සුදුසු යැයි සිතාගන්නටවත් බැරිය. තව ඒ අස්සෙන් මූණුපොතේ වගතුගක් යනවා... අටපට්ටම, සංහිද, දොරමඩලාව, ආලකමන්දාව වැනි බැලීමට සුදුසු වැඩසටහන් නැත්තේද නොවේ.
අපේ රටේ බාල පරම්පරාවම විනාශ වී හමාරයි යන්නයි මගේ අදහස, අපි පුංචිකාලේ කියපු මේ ගසේ බොහෝ, නිල් අහස් තලේ අගේ, අයන්න කියන්න ලොවටම ඇහෙන්න, කොප්පර කොප්පර පිපිඤ්ඤා වගේ සිංදු දැන් ළමයි අහලාවත් නෑ.. හැබැයි ජෝන් සීනා අපෙ පොඩි එකාගෙ ඔලුවට ගහලා, රපට ටපට මේවාගැන පොඩිඅයගෙන් ඇහුවොත් නම් දෙයි රම්පෙට පොරි හැලෙන්න... ජපනා අපිට රූපවාහිනී සංස්ථාව තෑගි කළේ අධ්‍යාපන සේවයක් විදිහට දැන් ඒකේ නැත්තෙත් අධ්‍යාපනය විතරයි. සුදර්ශන දන්නවා ඇති නේද CFI කියලා චැනලයක් තියෙනවා මේකෙන් තමයි දොස්තර හොදහිත, පිස්සු පූසා වගේ කාටුන් ලංකාවට ආවේ. මෙයාලා ලංකාවට වීඩියෝ දෙනේනේ සැටලයිට් හරහා නොමිලේ හේකුව විදිහට කියන්නේ ලංකාවේ ළමයින්ගේ හිත් හදන්නලු මේවා දෙන්නේ...
සිරස ටීවී ආයතනය විශේෂයෙන්ම වගකිවයුතුයි මේ මල විකාර ලංකාවට හදුන්වා දීම සම්බන්ධයෙන්, රියැලිටි ෂෝත් දැන් අලවෙලානේ තියෙන්නේ මතකනේ mega star වලට වුනදේ. අර පබාද කව්ද ඉන්නේ අන්න එයාට ෂකීරා නඩු දාලා කියලත් ආරංචියි. ඒ වගේම මේ ළගදී එයාගේ පැටිකිරිය ලොවම දැනගත්තානේ.. තවත් දෙයක් කියනවානම් මැච් එකක් බලනකොට හයවෙනි බෝලයට වෙච්ච දේ දෙයියොවත් දන්නේ නෑ. ඒකෙන්ම පැහැදිලියිනේ මේ සෑම සියළු දෙයක්ම කරන්නේ හුදු මුදල් පරමාර්තයෙන් මිස මේවා නරබන අයගැන නාම මාත්‍රිකවත් හැගීමක් නොමැති වග. මමනම් කියන්නේ හැමෝම එකයි දුරස්තපාලකය අතට ගත්තත් ප්‍රෂ්නය විසදෙන්නේ ඕකේ තියෙන power off එක එබුවොත් විතරයි. ඇත්තටම නිවැරදිම විසදුම ඇත්තේ මාධ්‍ය හසුරුවන්නන්ගේ අතෙයි... මමත් ලංකාවේ ප්‍රධානපෙළේ මාධ්‍ය ජාලයකයි සේවය කරන්නේ ඒත් ඒක මගේ රස්සාව අරුත් ඇති නැති සියළුදේ ලොවටම පෙන්වීමයි රාජකාරිය, වැටුපට වඩා වැඩි යමක් ආයතනනය වෙනුවෙන් දීමයි අපේ යුතුකම.......................................................................................................
@ධනුෂ්ක
ReplyDeleteධනුෂ්ක අයියටනම් ඉතිං කියන්න දෙයක් නෑ..ගොඩක් ස්තූතියි.. ගොඩක් දිග කමෙන්ට් එකකුත් තියෙන්නේ..තාත්තට ඉක්මනටම සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.. එයාලගෙ කාලෙ අය ඉගැන්නුවේ සල්ලි බලාගෙන නෙවෙයිනෙ.. ඉතින් කරගත්ත පිංටිකම එයාලට පිහිටවෙයිනෙ.. මට නම් මේ රටේ ඉන්න මිනිස්සු එපාම එපා වෙලා ඉන්නෙ.. මේ දැනට පැය තුන හතරකට කලින් අත්විඳපු දේවලින් කළකිරීම තවත් වැඩි උනා.. ඉස්සරහට ඒවත් පළ කරන්න අදහස් කරනවා.. ඒත් දැං මතක් වෙද්දි හිනා යනවා.. අපි අයේ වෙලාවක හම්බවෙලාම කතාකරමුකෝ...