Pages

Thursday, September 8, 2011

සම්මුඛ පරීක්ෂණ (වෙලාවකට ආතල්)

මේ දවස්වලනම් අම්බානකට වැඩ. මොකද 19 අපේ අවසාන විභාගය පටන් ගන්නවා.. හිතන් හිටියන හොම්බෙන් යන්න දෙන්න නෝට් එකක් දෙකක් බැලුවම තමයි තේරෙන්නෙ වැඩේ කොච්චර අමාරුද කියලා.. ප්‍රොජෙක්ට්,ප්‍රසන්ටේශන්.... අරවා මෙව්වා අන්තිම අවුරුද්ද හින්දද මන්දා ඇට්ටිහැලෙන්න දෙනවා.. කොහොම හරි මේ ලිපිය මන් හිතන්නෙ මාසයක් විතර තිස්සෙ ලිව්වා පොඩ්ඩ පොඩ්ඩ.. අනේ කරුමෙක මහත අන්තිමට මගෙ අතින් ඩිලීට් උනා කොටසක්.. කොහොම කොහොම හරි මෙන්න අන්තිමට මේක බ්ලොග් එකෙත් යනවා..

අද කතාව අධ්‍යාපනයට සම්බන්ධ නැති උනාට ඉගෙන ගත්ත කාට උනත් අන්තිමට මූන දෙන්න වෙන අත්දැකීමක් ගැන.. ඉන්ටව්,ඉන්ටර්වීව්,ඉන්ටෝ.. කිය කිය එක එක්කෙනා එක විදිහට කියන සම්මුඛ පරීක්ශන ගැන තමයි අද කතාව.. HNB එකෙන් පටන් අරන් මම මේ වෙද්දි ඔව්ව දහයකට ආසන්න ගානකටම මට මූන දෙන්න වුනා.. ඒවයින් බාගෙකටත් වඩා මටනම් වෙලා තියෙන්නෙ ආතල් වැඩම තමා.. මේ කතාව මගෙ ජීවිතේ වෙනස් කරපු එකක් සම්බන්දව..
අදාල ආයතනය හරි ඒකට සම්බන්ද කිසිම දෙයක් ගැන මම නොකිය ඉන්නම්..කොහොම හරි අපි ඕවට යද්දි ටිකක් ලස්සනට පිලිවෙලට යන්න හදනවනෙ.. ඉතින් මමත් උදේ පාන්දර නාල කරල (යාලුවෙකුගෙ ගෙදර ඉඳල තමයි ආවෙ) ටයි පොල්ලක් සාක්කුවෙ දාගෙන, ජෙල් පැකට් දෙකක් විතර සාක්කුවෙ දාගෙන ආව අඩව්ව අල්ලන්න, ඒ දවස්වල කොලඹ පාරවල් ගෙන එච්චර නොදන්නව උනාට කොහොමහරි වෙලාවට කලින් හොයාගෙන එන්න පුලුවන් උනා කියමුකෝ.. අදාල ස්පොට් එකට ගල් ඉබ්බා වගේ මාත් ටිකක් කිට්‍ටු කරල බැලුවා.. එක එක කට්ටිය එක එක මූඩ් වල.. සමහරු බිම බලාගෙන සපත්තුවේ පොලිශ් එක බලා ඉන්නවා.. සමහරු මූනට කරුවක් එහෙම ගහගෙන අහස පොලොව ගැටගහන්න ක්‍රමයක් හොයනවා, කස්ටියක් ෆෝන් එකෙන් මැසේජ් කොටනවා.. මමත් බැලුවා පොඩ්ඩක් මූනත් තහඩුව පොඩ්ඩක් එහෙමෙහෙ කරගන්න තැනක්.. මෙන්න බොලේ තියෙනව ටොයිලට් එකක්.. රිංගුවා ඇතුලට ටයි පොල්ල දාගෙන ජෙල් පැකට් දෙකම හලාගත්ත කොන්ඩෙ.. ඔය ඉන්නෙ යකා නිකන් මොකාද වගේ,  ඔන්න වැඩේ හමාර උනාට පස්සෙ මමත් සෙට් උනා පෝලිමේ කොනකට.. මගෙ වාරෙ ආවට පස්සෙ රිංගුවා ඇතුලට නිකන් දේවලෙ තිරෙන් අස්සට කපුවට හොරෙ රිංගනවා වගේ..

අක්කර පහක විතර මේසයක් ඉස්සරහ ඉන්නවා රජ ඩයල් දෙකක්. පොරක් කෝල් එකක.. අනිකට ගුඩ් මෝනිං පාරක් දාගෙන මමත් වාඩි උනා.. ඔන්න පටන් ගත්ත කඩ්ඩෙන් කොටන්න.. මාත් එහෙට මෙහෙට වැනි වැනී අතකින් පලිහයි.. අනික් අතින් මොට්ට කඩුවයි එල්ලගෙන පුලුවන් විදිහට කොටනව.. අපි මෑන්ට A කියමු අනිකට B කියමුකෝ මෙන්න මෙහෙම යනව කතාව..

A:-කියන්න බලන්න ඔයා ගැන විස්තර ටිකක්..
මම:- මම සුදර්ශන බංඩාර...(මේ විදිහට පටන් අරන් කට පාඩම් කරගත්ත ටික දිගාරිනවා..)
(B කෝල් එකේ තාම. A ගැජට් එකක් පෙන්වමින්)
A:-මේ මොකක්ද?
මම:-සර් ඕකෙ නමනං දන්නෙ නෑ ඒ උනාට ඕක ඇතුලෙ තියෙන්නෙ .....බ්ලා...බ්ලා...බ්ලා... ඕකෙන් කෙරෙන්නෙ බ්ලා... බ්ලා.. බ්ලා...
(ඔන්න එනව අනික B තව මගුලක් අරන් )
B:- මේක මොකක්ද කියන්න බලන්න එහෙනම්..
මම:- සර් ඕකෙත් නමනං දන්නෙ නෑ ඒ උනාට ඕක ඇතුලෙ තියෙන්නෙ .....බ්ලා...බ්ලා...බ්ලා... ඕකෙන් කෙරෙන්නෙ බ්ලා... බ්ලා.. බ්ලා...
(ඩබලම ටිකක් අප්සට් වගේ)
B:-හරි කියන්න ADSL කියන එකේ තේරුම?
මම:-(මල කෙලියයි ඊයෙ පාඩම් කරන් ආව අද මතක නෑනෙ යකඩෝ.. කිව්ව මෙහෙම තටම තටමා...)
සර් මේ... මේ.. ඇසිංක්‍රෝනස්....ඩි...ඩිජිටල්....ල...ලයින්... (පටන් ගනිද්දිම වැරදි)
B:- නෑ...... නෑ... නෑ... එක වැරදියි....
(ඔන්න අර කෝල් එකේ හිටපු එකා එක එක විකාර අහනවා මාත් එහෙට මෙහෙට පැන පැන බේරෙන්න බලනවා.. ඊලඟට අනිකටත් මොනවහරි අහන්න හිතිලවගේ අහනව මෙහෙම)
A:-ගම බිබිලෙ කිව්ව නේද? බිබිලට කෝච්චි තියෙනව නේද?
මම:-නෑ සර් බිබිලට කෝච්චි නෑ..
A:- නැත්තෙ කොහෙද ඔයා දන්නෙ නැතුව ඇති..
(මල පනිනවනෙ යකෝ මේවට මගෙ ගම ගැන දන්නෙ නැද්ද මම)
මම:-නෑ බිබිලට කෝච්චි නෑ....!
A:-නැත්තෙ කොහෙද බදුල්ල කෝච්චිය හරවන්නෙ බිබිලෙන්නෙ..
මම:-නෑ සර් බදුල්ල කෝච්චිය හරවන්නෙ බදුල්ලෙන්.. එකනෙ එකට බදුලු කෝච්චිය කියන්නෙ.. නැත්තන් කියනවනෙ බිබිල කෝච්චිය කියල..
A:-ඒ උනාට ඉස්සර තිබුන නේද?
(මොන මගුලක්ද මේ යකාට කොච්චර කිව්වත් අහන්නෙ නෑ)
මම:-නෑ ඉස්සර තිබුනෙත් නෑ..
A:-ඉස්සර තිබුනට ඔයා දන්නෙ නැතුව ඇති.
මම:-කෝච්චි පාරක් එහෙම දවසකින් දෙකකින් නැතිවෙලා යන්නෙ නෑනෙ සර්.. තිබුන සලකුනක් හරි තියෙන්න ඕන.. අනික අපෙ අම්මල තාත්තලවත් බිබිල කෝච්චියෙ ගියා කියල කියනවා මට ඇහිල නෑ.. අනික ස්ටේෂන් එකක්වත්, එහෙම තිබුන තැනක්වත් නෑ..
A:-ඒ උනාට බිබිලට කෝච්චි තිබුනා ඔයා දන්නෙ නැ..
(ආයෙ මගුලක් කතා කරනවා ඒ පාර)
මම:-නෑ සර් පරන ලංකා සිතියම් වලවත් එහෙම දෙයක් දැකල නෑ.. බිබිලට කෝච්චි තිබුනෙම නෑ...
A:-බිබිල මඩකලපුව දුවන කෝච්චියක් තිබුනා ඔයා දන්නෙ නෑ...
(පිස්සු හැදෙනවා මූ කියන ඒවට)
මම:- නෑ නෑ බිබිල මඩකලපුව කෝච්චි පාරක් නම් නෑ නිකන් පාරක්නම් තියෙනවා..ඒකත් දැං මහ ඔයෙන් එහාට වහල යුද්ධෙ නිසා..
A:- හා එහෙනම් කියන්න ඒ පාරෙ අංකෙ මොකක්ද කියල?
මම:-B57 (ඔහෙ කටට ආව පලියට කිව්වා)
A:-බිබිලෙ දොඩම් තියෙනව නේද?
(ඒ පාර මෑන් මාව කෝච්චියට අහු කරල මරන්න බැරිකොට දොඩම් වලින් ගහල මරන්න වගේ හදන්නෙ...අතෑරියෙ නෑ එක දිගටම කියල දැම්ම..)
මම:-නෑ ස්ර් බිබිලෙ දොඩම් නෑ.ඉස්සර තිබුනා.. වෛරස් එකක් ඇවිත් මීට අවුරුදු ගානකට කලින් වගාව සම්පූර්නයෙන්ම නැති උනා..දැං ඒ වත්ත තියෙනව. කතාවට මිනිස්සු දොඩම් වත්ත කියල කියනවා, හැබැයි දැන්නම් රබර් හිටවල තියෙන්නෙ.. (අහන්න හදන ඔක්කොම මමම කිව්වා....ඇයි යකෝ....)
A:-අපරාදෙ නේද..
මම:-හ්ම්...
A:- හරි අපි දන්නල එවන්නම්...

මමත් ඉතින් තැන්කූ පාරක් දාල නිකන් දවසම මෙරිගො රවුන්ඩ් ගිය එකෙක් වගේ උතුර දකුන මාරු කරගෙන නැගිටල ආව....
ඔන්න ඔහොමයි කතාව...අපරාදෙ කියන්න බෑ... ඒකෙන් මාව පාස් කරල.... අදටත් මම දන්නේ නෑ මොනවද ඒ උනේ කියන්න....
කොහොම උනත් ලංකාවෙ ඉන්ටවීව් ගැනනම් මට කියන්න තියෙන්නෙ බාගෙට බාගයක් බොරු කියන එක තමයි.. මොන බොරු ප්‍රශ්න ඇහුවත් අන්තිමට ගන්නෙ උන්ට ඕන අය තමයි.. XXXටෙල් එකේදි අහපු දෙවෙනි ප්‍රශ්නෙ තමයි, "බොනවද..?" කියන එක මම මොනව කියන්නද කියල හිතාගන්න බැරුව තක්කු මුක්කු වුනාම මෑන් කියනවා "මෙහෙ එනවනම් හොදට ගහන්න ඕන" කියලා.. හික්.. එක ආයතනයක ඉන්ටවීව් එකෙන් පස්සෙ (රජයේ එකක්) එකෙන් ගන්නෙ ඇමතිගෙ ඔඩර්ස් වලට කියල දැනගත්තම මමත් දන්න කියන කෙනෙක් හරහ මෑන්ව ඇල්ලුවා බලන්න.. මෙන්න බොලේ මේ යකා ලක්ශ තුනහමාරක් ඉල්ලනවා.. කොහොම කොහොම හරි අපි දන්න සබ්ජෙක්ට් එකේ අයනු ආයනු වත් නොදන්න ඈයො (සමහරුන්ට සා.පෙ. වත් නෑ)ඇතුලට යන මැජික් එකනම් හොයාගන්නම ඕන.. හෙට දවසෙ මට ඔව්වා දෙකකට ඔලුව දාන්න තියෙනවා.. ඔන්න ඔහෙ යනවා ඒ නාඩගමත් බලන්න.. විබාගෙ එහෙම ඉවරවෙලා (අන්තිම එක) අපි මේක පිලිවෙලකට ලස්සනට කරමු.. එතකන් ගිහින් එන්නම්..