ඔන්න කාලෙකට පස්සෙ මගෙ බ්ලොග් එකටත් ඉර පායලා.. පහු ගිය ටිකේම හුස්මක් කටක් නැතුව එක දිගට ඇදගෙන ගිය exame බරත් පැත්තකින් තිබ්බා.. ආයෙ ඉතින් එහෙම එකක් එනව කියල මතක් වෙන්නෙත් තව මාස තුනකින්.. එතකන් අපිටනම් වගේ වගක් නෑ..
ලංකාවෙ උසස් අධ්‍යාපනය නම් කියල වැඩක් නෑ.. අපි දේශන වලට එන්නෙ අත්සන ගහන එක මූලිකම පරම පවිත්‍ර චේතනාව කරගෙන.. ඒ ආවත් ඉඳගත්ත ගමන් මටනම් නැළවිලි ගීත ඇහෙන්න පටන් ගන්නවා.. පුදුම වැඩේ කියන්නේ ගෙදර ඇඳේ නිදි පෙති ගැහුවත් නින්ද යන්නෙ නෑ.. අනෙ අම්මේ ඒ උනාට lecture වල නම් නින්ද යන අපූරුව.. ෆහ්... මතක් වෙද්දිත් සනීපයි..වැඩිය ඕන නෑ හීනත් පේනවා..
හැමදාම lecture ඇවිත් ඉස්සරහම පේලියේ ඉඳගෙන ඇස් කන් අලවගෙන ඉගෙන ගන්න එකත්, කොරන්න තියෙන ඔක්කොම මගෝඩි වැඩ ටික කර කර ඉඳල exame ලං උනාම පශ්චාත් භාගයේ රොකට් එකක් ගහගෙන වැඩ කරල exame කරන එකත් පාස් වෙන්නෙ එකම විදිහට..වෙලාවකට අර කලින් කියපු උන් ගැන දුකකුත් හිතෙනවා..
ජරමර අස්සෙ බර කරත්ත කියල මේ මගෝඩි අස්සෙ මට අවුරුදු 25ක් වෙලා.. ඒකටනම් අඬන්න ඕන.. තාම අම්ම තාත්තගෙන් කන්න වෙලා.. මේකනම් මාර රටක් තමයි.. හික්.. මොනව උනත් තව මාස තුනයි.. එහෙම ඉන්නෙ..
බලාගෙන ගියාම ජීවිතෙත් මාර ඉක්මනට ගෙවිල යන්නෙ.. අතර මගදි මොකක් හරි කරණමක් ගහල ඉක්මනටම ලෑලි පෙට්ටියෙ පැක් වෙන්න සිද්ද නොවුනොත් හරි කාලෙන් කාලෙට ඉවරයක් නැතුව එන ගෑනුන්ගෙ විලාසිතා වගේ, අතොරක් නැතිව එන ලෙඩ කන්දරාවෙන් බේරිලා අන්තිම Chapter එක වෙනකන් හරි කොහොමහරි ගේම ගැහුව කියමු.. උපරිම අවුරුදු 65ක් විතර තමයි.. ඒත් අන්තිම කාලෙ එලොව පොල් ගනන් හිලව් බල බලා එහෙටත් මෙහෙටත් නැතුවනෙ ඉන්න වෙන්නෙ.. ඔයින් මෙයින් බලපුවාම අවුරුදු 25ක් කියන්නෙ ජීවිතෙන් භාගයක් විතර වගේ නේද..
හදිස්සියේම අපි අතරින් වෙන්වෙලා යන්න ගිය දිලුම් සහෝදරයා ගැනත් සටහනක් තියන්නම ඕන.. ඒ තරම් දරුණුවට නොවුනත් මටත් ඊට ටිකක් සමාන අත්දැකීමක් තියෙනවා.. මමත් ප්‍රතිකාර ගත්තෙ ඔහු ප්‍රතිකාර ගත්ත Dr. ශාන්ත පෙරේරා කියන වෙදැදුරු ගෙන්ම තමයි.. එතුමන්ගෙ දක්ශතාව ගැන පෞද්ගලිකවම මමත් දන්නවා..කොයි තරම් වෙදකම හොඳ උනත් ඒවගේ දේවල් නවත්තන්න අමාරුයි... ඉලන්දාරියා ගැන මෙතුවක් මේ බ්ලොග් පිටු අතරෙ නොලියවුනාට.. ඔහුව දැකලවත් නැති උනාට ඒ සමු ගැනීමනම් ගොඩක් තදට දැනුනා... මොනව උනත් අපි කාට කාටත් මේ දේවල් පොදු කාරණා කියන එකනම් කියන්නම ඕන.. පිණි බිංදුවකටත් වඩා හෙලවෙන මේ පුංචි ජීවිත කාලෙ තමන්ටත් හොඳ දෙයක් කරගෙන අනුන්ටත් කරදරයක් නොකර පුලුවන් තරම් හොඳ දේවල් ටිකක් යද්දි ගෙනියන්න එකතු කරගෙන තැනින් තැනට මාරු වෙවී යන ගමන කෙටි කරගන්න පුලුවන්නම් ඒක තමයි ලොකුම දේ..
කියවන කාටවත් වැඩක් නොවුනට පහුගිය ටිකේම හිතේ හිරවෙලා තිබුන දේවල් වලින් ටිකක් තමයි ඔය වාන් දැම්මෙ... ඉතින් ආයෙමත් බ්ලොග් අවකාශය වැහිබර වෙලා.. තටම තටම පොදෙන් පොදේ සීරුවට පටන් අරන් ඉහත්තාවට වහින්නයි හදන්නෙ, අනිවාර්ය ප්‍රතික්‍රියාව විදිහට පිටවාන වාන් දමන්න ඔන්න මෙන්න... ඉතින් මගෙ යාලු මාලුවො ටිකට (Gold fish වත් මතක් උනා.. මාලුවො කිව්ව ගන්මන් මේ යකාට මල පනීද මන්දා.. කමක් නෑ මම කියන්නෙ ටැංකි අස්සෙ ඉන්න මාලු ගැන නෙවෙයි නේ....) බල්ටියක් දෙකක් එහෙම ගහල ලෑස්තිවෙලා ඉන්න කියල කියන්නයි මේ ටික ලිව්වේ... එහෙනම් තේරුමක් ඇති දේකින්ම ආයෙ හම්බවෙමු... ගිහින් එන්නම්..
No comments:
Post a Comment